Powered By Blogger

Sunday, June 5, 2011

සමනළියක් ඉකිබින්දා......




උඩින් උඩින් අඩිය තිය තිය - හිතට උඩින් ඔබ ගියදා
දුරින් දුරින් හිත තියාන - හරි බයකින් මම උන්නා
ළගින් ඉදන් මල් පුදන්න - ඔබ ආසයි කියු හින්දා
හිතින් ටිකක් ඉඩ අරගෙන - ඔබට එන්න ඉඩ දුන්නා

මටත් හොරෙන් මගේ හිතම - හොරෙන් හොරෙන් ඔබ ගත්දා
දෙනෙත් වහන් මම උන්නා - පැතුම් සදක් හිත රන්දා
දුරක් ගිහින් සංසාරේ - හැරෙන්න මට බැරි හින්දා
ළගින් ඉන්න හැමදාමත් - කියා ඔබට මම කිව්වා

ඇතත් නැතත් අතේ මිටක් - බරක් කොහෙද පෙම ඇතිදා
රටක් ලොවක් මට මොකටද - සදක් වගේ ළග ඇතිදා
මලක් උනත් පර වෙන්නේ - ගහක් පාමුළට වැටිලා
දුකත් සැපත් ජිවිතයේ - එහෙම දරන් මම උන්නා

ගගක් වෙන්න සදාකල්ම - ඉවුරක් වී මම ඉන්නම්
ඉරක් වෙන්න සංසාරේ - මලක් වෙලා මම ඉන්නම්
හිතත් ඉතින් බොළදකමට - මටත් එහෙම කියුව නිසා
මතක් වෙන්න හැමදාමත් - හි‍තේ ඔබව ඇදගත්තා

හෙමින් හෙමින් අඩි තිය තිය - මටත් හොරෙන් ඔබ ගියදා
හිගන්නියක් වාගේ මම - ඔබේ දෙපා වැද වැටුණා
ළගින් තියන් හිත අතගෑ.... ඔබම පයින් ගැසු එදින
පෙමින් උපන් ලෙයින් තෙමී - හිත රතු පාටට හැරුණා

සදාගන්න මට මගෙ හිත - ළගින් කවුරුවත් උන්නෑ
හිතත් එක්ක මම තනියම - රැයෙන් රැයට දුක් වින්දා
පාට කරන සමනල හිත - ඔබ තව මලකට වැහුවා
තදින් වහන් මගෙ දොරගුළු - හිතයි මමයි ඉකිබින්දා



1 comment:

  1. අනේ........
    ලස්සනට ලියලනම් තියෙනව අවසානය දුකයිනෙ

    ReplyDelete

Twitter Bird Gadget