Powered By Blogger

Monday, November 21, 2011

ආදරණීය සින්දු......


වුරුද්දට හිත පිරෙන්න ඇදුම් කැඩුම් අරන් දෙන්න මගේ පුංචි දගකාරිට එය අන්දා හැඩ බලන්න ඉස්සර මෙන් බක්මාසෙට අවුරුද්දක් උදාවෙන්න...


සිංහල අලුත් අවුරුදු සමය අවසානය. එහෙත් තවමත් මෙදා අවුරුද්දට මට ඔබ දකින්නට නොහැකි විය. සුභ අළුත් අවුරුද්දකට ආසිරි මල් මිටක් එව්වා පමණි. එහෙත් වෙන අවුරුදු වල නම් නොවරදවාම ඔබ බලන්නට ආවෙමි. ඔබට සුභ අළුත් අවුරුද්දකට පැතුම් ගෙනාවේ ඔබේ අත්දෙක දැඩිව අල්ලා ගනිමිනි. මේ අවුරුද්ද වෙනුවෙනුත් ඔබට එලෙසම සුභ පත්නට ඇත්නම් යැයි මට නොසිතෙනවා නොවේ.  එහෙත් ඔබටත් මටත් හමුවන්නට දැන් අවසර නොමැත. එබැවින් ගෙවුණු අවුරුදු සමයේ මතක සටහන් යළි සිහිපත් කරමින් සැනහෙන්නට උත්සාහ කරමි. ගෙවි ගිය අවුරුදු සමය ඔබට මතකද?  

අපි ෂොපිං යමුද?
අවුරුදු නිවාඩුව අවසානයේ ඔබත් මාත් මුණගැසුණු දවසක මම ඔබෙන් ඇසුවෙමි.
ඒ මොකටද?
ඔබ මගෙන් ඇසුවේ හීන් හඩිනි.
මගෙ පැටියට අවුරුද්දට තෑග්ගක් අරගෙන දෙන්නද?
මම ඔබේ පිට මත සුරත  තබා අතිශය ලෙංගතු ලෙස කිවෙමි.
මට මුකුත් එපා... 

ඔබ කියන්නේ අතිශය ආදරණිය ස්වරයකිනි. ඔබට තෑගි එපා බව සැබවි. එහෙත් සිංහල අළුත් අවුරුද්දක් යනු ආදරය කරනවුන්ට තෑගි දෙන වතවානුවකි. තෑගි බෝග හුවමාරු වෙද්දී හිතින් හිතට මාරුවන සතුට මොනතරම් නම් සුන්දරද? එබැවින් තවත් වතාවක් මම ඔබට පෙරැත්ත කළෙමි. අවසානයේ ඔබ සිනාසෙමින් මා සමග එන්නීය. ඔබ වඩාත් සුන්දර ළා පාට ඇදුම් වලටය. ඔබ වඩාත් ප්‍රිය කරන්නේද ළා පාට ඇදුම් ඇද කොණ්ඩය පිට දිගට විසිරුවා ගත් කළ ඔබ කෙරෙන් පළවන්නේ දගකාර  ස්වභාවයකි. ඒ දගකාර යෞවනියකට මම අපමණ ආදරය කළෙමි. ඉතින් ඒ දගකාරියගේ දගකාර බව වඩාත් ඔප් නැංවෙන සේ සොදුරු ගත සරසන්නට මම ආශා කළෙමි.

ඔයා කැමති ඇදුමක් ගන්න.
මම ඔබේ කණට කොදුරා කීවෙමි.
ඔයානේ අරගෙන දෙන්නේ.... ඔයා කැමති එකක් තෝරන්න...
ඒ වුණාට ඔයානේ අදින්නේ.... ඒ නිසා ඔය හොද එකක් තෝර ගන්න....
බෑ... ඔයා තෝරල දෙන ඕනෙම ඇදුමක් මම අදිනවා.

අපි දෙදෙනා මොහොතකට රණ්ඩු වීමු. මට තෝරන්න දැනෙන්නේ කෙල්ලො විතරයි. ලෝකෙම ඉන්න හොදම කෙල්ල මං තෝර ගත්තා. ඒ වුණාට ඒ කෙල්ලට ඇදුම් තෝරන්න මට දැනෙන්නෙ නෑ... මා කිවිට ඔබ සුන්දර ලෙස හිනැහෙව්වට වුවාය. එහෙත් එය විහිළුවක් නොවේ. ලෝකයේ සිටින සුන්දරම සහ ලෙංගතුම යුවතිය ඔබ නොවේ යැයි කියන්නේ කෙළෙසද? මට නම් ඔබේ මුහුණ සැනකෙළියකි. ඒ මුහුණ මත හිනැහෙන තරු නෙතු සගල මොනතරම් සුන්දරද? මම ඔබේ මුහුණ දෙස බොහෝ වර බලා සිටින්නේ එබැවිනි. ඔබේ ලස්සනින් මගේ හිත පුරවා ගන්නට ලැබීමම මොනතරම් සතුටක්ද? එහෙත් මේ ලෝකයේම සිටින ලස්සනම කෙල්ල ඔබ යැයි මා ඔබට කිවිට ඔබ හිනැහෙන්නට වෙයි. 

මොකද හිතෙන්නේ...
ඔබේ හිසට පුංචි ටොක්කකුත් අනිමින් මම ඔබෙන් ඇසුවෙමි.
නිකන්..... ඒක නෙවි මට ඇදුම් ඕන නෑ... මට ඇදුම් අරන් දෙන සල්ලි වලින් ඔයා කණ්නාඩි කුට්ටමක් ගන්න. ඇස් පෙනීම හුගක් දුර්වලයි වගේ....
ඔබ සිනාසෙමින් කිවාය.
ඇයි ඒ.....
ඇයි කියන්නේ.... ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල මං කියන්නේ ඇස් පෙනිම අඩු හින්ද නෙමේද? 

ඔබ මගේ සුරතේ පැටලෙමින් ඇසුවාය. එහෙත් එදත් මිලට ගත්තේ ඔබට ඇදුම් මිස මට කණ්නාඩි නොවේ. ඔබ කෙසේ කිවත් මට නම් මෙලොව තවමත් ලස්සනින් වැඩිම යුවතිය ඔබයි. එහෙත් හිතට දුක ඒ සොදුරු යුවතිය දකින්නට නොලැබීමය. 

Twitter Bird Gadget