Powered By Blogger

Thursday, May 19, 2011

අරුණින් ඇරඹෙන දවස.........



නමෝ තස්ස භගවතෝ අරහතෝ 
සම්මා සම්බුද්ධස්ස !


උදේට උදාවන ඉර සවසට බැස යනවා. අරුණින් ඇරඹෙන දවසේ ආලෝකය සැදෑ අදුරින් කෙළවර වෙනවා. සොබා දහමට අනුව දවසට හිමි මේ ධර්මතා අපේ ජිවිතයටත් පොදුයි. හිරු අවරට යන බව අපට පහසුවෙන් වැටහෙන නමුත් ජිවිතය අවරට යන බව සාමාන්‍යයෙන් අපට අමතක වෙනවා. ජරා, ව්‍යාධි, මරණ යන පද තුන බුදු පියානන් වහන්සේ අපට නිතර සිහිපත් කර දෙන්නේ ඒ නිසයි.

අප තුල තිබෙන මත් වීම් තුන නිසා ජරාව, ව්‍යාධිය, මරණය කියන කාරණා අපට අමතක වෙනවා. මේ මත්වීම් තුන නම් තරුණ බව නිසා ඇතිවන මාන්නය, නිරෝගී බව නිසා ඇති වන මාන්නය සහ තමා ජිවත් වෙනවා කියන අදහස තුලින් ඇති වන මාන්නයයි. මෙන්න මේ මාන්නයෙන් උදම් උනහම කෙනෙකුගේ ජිවිතයේ යථාර්තය අමතක වෙනවා. සිහි බුද්ධිය යටපත් වෙනවා. ඒ සිහිමුලාව නිසා අසහනය, කම්පනය, සිත්තැවුල්, දුක් පීඩා වැඩි වෙනවා. ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා නිතර සිහිපත් කිරිම තුලින් ඒ කියපු මත්විම් වලින් මිදී යථාර්ථයට සිත ගෙන එන්න පුළුවන් වෙනවා. අසහනයෙන් තොරව උපේක්ෂාවෙන් යුක්තව තමන් දිරණ බව ලෙඩ වෙන බව මැරෙණ බව පිළිගන්න ආත්ම ශක්තියක් ඇති වෙනවා.

බුදු පියාණන් වහන්සේ අපට කියා දුන්න අපට නිතර දකින්න ලැබෙන මහල්ලා, රෝගියා, මල සිරුර දේව දුතයන් හැටියට සැලකිය යුතු බව. මන්ද මේවා අපට හිමි ඉරණම කල් තබා දන්වන නිසයි. මේ දේව දුතයන් හරියාකාරව පිහිට කරගත්තොත් අපට නොවැලැක්විය හැකි ඉරණමකට මුහුණ දිමට වුවත් හිත හදා ගන්න පහසු වෙනවා. ඒ වගේම මත්වීම නිසා සිදු කෙරෙන දුසිරිත් වලින් වැළකිලා සුසිරිත් මගට යොමු වෙලා දුගතියෙන් මිදී සුගතිගාමි වෙන්න පුළුවන් නම් වෙනවා.

ඒ නිමිති තුන ඇත්ත වශයෙන්ම දේව දුතයන් හැටියට දෙව්ලොවෙන් එවාපු පණිවිඩකරුවන් හැටියට සලකන්න පුළුවන්. බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයාට මේ පෙර නිමිති තුන මහාබිනික්මන් කරන්නත්, ලොවිතුරා බුදු බව ලබා ගන්නත් උපකාර වුනා. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි සියළු සංසාර දුකින් මිසි නිවන් සැප ලබන්නත් උපකාර වුනා.

ජරා, ව්‍යාධි, මරණ කියන කාරණ උපන් හැම සත්වයින්ටම පොදු ජිවිතයක නොවැලැක්විය හැකි දේවල් බවට සිහියට නගා ගැනිමෙන් දැඩි දුක්, දොම්නස්, හැඩිම්, වැළපිම් ආදිය තුනී කර ගත හැකි බව බුදුපියාණන් වහන්සේ සුත්‍ර කිපයකම දේශනා කොට වදාළ සේක.
බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂ, ගිහි පැවදි, භේදයකින් තොරව හැම කෙනෙකු විසින්ම නිතර නිතර සිහිපත් කළ යුතු කාරණා 05 ක් දේශනා කර ඇත. නිතර ප්‍රත්‍යාවේකෂා කළ යුතු කරුණු 05 නම්...

01.මම ජරාවට දිරිමට පත්වන ස්වභාවය ඇත්තෙක්මී. මම ජරාවට පත්විමේ ස්වභාවය නොඉක්මවු කෙනෙක් වෙමි.
02.මම ලෙඩෙක් වන ස්වභාවය ඇත්තෙක් වෙමි. ලෙඩවිමේ ස්වභාවය නොඉක්මවු කෙනෙක් වෙමි.
03.මම මරණයට පත්විමේ ස්වභාවය ඇත්තෙක් වෙමි. මරණය නොඉක්මවු කෙනෙක් වෙමි.
04.මම සියළු ප්‍රියමනාප අයගෙන් හා දේවලින් වෙන්වෙමි. වියෝවිමක් මට ඇති වෙනවා.
05.මට මගේය කියා කියන්න පුළුවන් දේ මා කරන කර්මයයි. මගේ දායාද මා කරන කර්මයයි. මා හට ගන්නේ කර්මයෙනි. මාගේ නෑයා කර්මය වේ. මට පිහිටත් කර්මයයි. හොද හෝ නරක කර්මයක් මා කරනවා නම් ඒ කර්මයේ දායාද කරුවාත් මමයි.

මා පමණක් නොවෙයි ජරා, ව්‍යාධි, මරණ ස්වභාවය කොට ඇත්තේ ජරා, ව්‍යාධි, මරණ නොඉක්ම වුයේ යම් සත්වයෙක් මේ භවයට එනවා නම් ඒ සෑම සත්වයෙක් මේ භවයට එනවා නම් ඒ සෑම සත්වයින්ම ජරා, ව්‍යාධි, මරණ ස්වභාවය කර ගෙන ඇත. ජරා, ව්‍යාධි, මරණ ඉක්මවා නැත.

මෙය මෙනෙහි කිරිම හරියාකාරව පුරුදු කර ගතහොත් අපට ජිවිතයේ සැදෑ අදුර තුලින්ම ප්‍රඥා ආලෝකය මතු කර ගැනිමට පුළුවන් වේ. අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන අතරතුරදි පවා මරණය සිදුවිය හැකි බව සිතන්න. මේ එක් එක් කාරණය ගැන පුළුල් අන්දමින් නිතර මෙනෙහි කරනවා නම් ඒ තැනැත්තා හට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයම අවබෝධ කරගෙන එමගින් සසර කල කිරිම තුලින් සසරට ඇති බැමි සියල්ල කඩා ගෙන  අනුසය - සංයෝජන - ධර්ම ආදිය නැති කර උතුම් අමා මහ නිවන් පවා ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

(දිවි කතරේ සැදෑ අදුර කෘතියෙන් උපුටා ගන්නා ලදී)





Twitter Bird Gadget